FTZ අරගලයට වසර 10ක් : වියරු මර්දනයක් දෙස ආපසු හැරී බැලීමක් – දුලාන් දසනායක

Facebooktwitterlinkedinrssyoutube

2011 වර්ෂයේ වෙසක් මාසයේ අවසානය කටුනායක නිදහස් වෙළද කලාපයට යහපත් කාලයක් නොවුණි. මැයි මාසය තුළදී කටුනායක නිදහස් වෙළද කාලාපය ඇතුළු සියළු වෙළද කලාපයන් තුළ කම්කරු අරගල වර්ධනය වූයේ පෞද්ගලික අංශයට විශ්‍රාම ප්‍රතිලාභ අරමුදලක් සැකසීම අරමුණු කර ගනිමින් රජය විසින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හේතුකොට ගෙනය. මෙම පනත් කෙටුම්පත තුල විශ්‍රාම වැටුප් අරමුදලක් පිළිබඳව සදහන් වූවත් මෙහි අරමුණ පෞද්ගලික අංශයේ සේවකයන්ගේද මුදල් වලින් සැකසුණු සේවක අර්ථ සාධක අරමුදල කොල්කෑම බවයි සේවක වෘත්තීය සමිති වල අදහස වූයේ.
එවකට පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් සහිතව සිටි රජයක් වූ අතර එකී රජයේ බලය රාජ්‍යයේ සියළු අංශ පුරාම විහිදී තිබුණි. ප්‍රාදේශිය සභා මන්ත්‍රී දක්වාම රාජ්‍යයේ බලය අත්තනෝමතිකව භාවිතා කරමින් තිබුණි. වර්ෂ 2010 දී පාර්ලිමේන්තුවේ 2/3 බලයට ආසන්න බලයක් ලබා ගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව වර්ෂ 2011 මැයි මාසය වන විට පාර්ලිමේන්තුවේ 2/3 බලයක් පිහිටුවා ගනිමින් රාජ්‍යයේ පාලන බලයේ විමධ්‍යගතභාවය අහෝසි කරමින් ජනාධිපතිවරයාට සියළුම බලය පාහේ එක්රැස් වන ආකාරයට 18වන සංශෝධනය සම්මත කර ගෙන තිබුණි.
වර්ෂ 2011 මැයි මාසයේ අවසානයේදී කටුනායක ඇතුළු සියළු නිදහස් වෙළද කලාපයන්හි සේවයේ නියුතු නිර්ප්‍රභූ කම්කරුවන් අභියෝග කලේ එකී බලගතු ආණ්ඩුවටය. ඒ වන තෙක් එම රජය ගෙන ආ කිසිදු පනතක් ආපසු හැරවීමට කටයුතු කර නොතිබුණු පසුබිමක ආන්ඩුවට 2/3 බලයකින් වුවත් මෙම පනත සම්මත කිරීමට තරම් ස්ථිර ශක්තිමත් පාර්ලිමේන්තුවක් තිබෙන අවස්ථාවක මෙම පනතට නිදහස් වෙළද කලාප සේවකයන් අභියෝග කිරීම සුවිශේෂි වෙයි. මෙම අරගලය සියළු නිදහස් වෙළද කලාපයන්හි ඇතිවුණද වඩා අරගලය දරුණු වූයේ කටුනායක නිදහස් වෙළද කලාපයේය. කවදත් මෙන් වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය සක්‍රීයව පවතින කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයන් මේ පනතට එරෙහි විරෝධතාවය දැඩි කරන්නට විය. ආණ්ඩුවද සිය පියවර ආපස්සට නොගන්නා ස්ථාවරයක සිටි බැවින් සේවකයන්ගේ විරෝධතාවයද දැඩි විය.
වර්ෂ 2011 මැයි මස 24 වන දින ඒකාබද්ධ වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් සංවිධානය කල දැවැන්ත විරෝධතාවයට පොලීසිය විසින් නර සභා පිටිය ලබා නොදීම නිසා කටුනායක වෙළඳ කලාපයට යාබද 18 කණුව අසළ මෙම විරෝධතාවය පැවැත්වීමට සංවිධායකයන් කටයුුතු කරන ලදී. එහිදී දැඩි මාර්ග තදබදයක්ද ඇතිවුණු අතර දුම්රිය මාර්ගයද විරෝධතාකරුවන් හරස් කරන ලදී. පොලීසිය විසින් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කල අතර සේවකයන් 30 ක් පමණ අත්අඩංගුවට ගන්නා ලදී. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත දැවැන්ත පුවරුවක් සේවකයන් විසින් පෙරළා දැමීම වඩා බලපෑම්සහගත විය. එය එවට පැවැති පාලනය නොඉවසන්නක් වූයේ ඒ දිනවල ලංකාව පුරා පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අතිවිශාල පුවරුවලට කිසිදු අවස්ථාවක කිසිදු හානියක් සිදු කිරීමේ තත්වයක් රට තුළ නොපැවති නිසාය.
මෙම විරෝධතාවයන්හි උච්චතම අවස්ථාව වර්ෂ 2011 මැයි මස 30 වන දින උදා වූ අතර මැයි 24 දින උද්ඝෝෂණයට පොලීසිය දැක්වූ ප්‍රතිචාරයට වඩා දරුණු ප්‍රතිචාරයක් දැක්වීමට පොලීසිය පෙර සිටම සූදානම් වී ඇති බව පෙනෙන්නට ඇතැයි මහානාම තිලකරත්න ජනාධිපත පරීක්ෂණ කමිටු වාර්තාවේ දැක්වෙයි.
පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනට දුරකතනයෙන් අමතා උදේ 7.00 වන විට කටුනායකට වාර්තා කරන ලෙස දන්වා ඇති බවත් සහකාර පොලිස් නිලධාරී නිලයේ සිට ඉහළට නිලධාරීන් 16ක් කටුනායකට කැඳවා තිබුනු බව ජනාධිපති පරීකෂණ කමිටු වාර්තාව දක්වයි. එමෙන්ම, කොළඹ නගරයේ පොලිස් ස්ථාන කීපයකින්ම පොලිස් නිලධාරීන් කටුනායකට කැඳවා තිබූ බවද එකී පරීක්ෂණ කමිටු වාර්තාවේ දැක්වෙයි.
පොලීසියේ පහරදීම් හි අමානුෂික ස්වරූපය ගැනද ජනාධිපති පරීක්ෂණ කමිටුව සිය වාර්තාවේ විස්තර කරයි. එකී කමිටුවට සාක්ෂි ලබා දෙන පොලිස් පරීක්ෂක රණසිංහගේ සාක්ෂියට අනුව ඔවුන්ට දණ හිසෙන් පහළට වෙඩි තැබීමට අණ ලැබී ඇති නමුත් තුවාලකරුවන්ගේ තුවාල විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ බොහෝ තුවාල දණහිසට බොහෝ ඉහළින් තිබූ බව යැයි පරීක්ෂණ කමිටු වාර්තාවේ දැක්වෙයි. මියගිය රොෂේන් චානකගේද වකුගඩුවලටද තුවාල සිදු වී තිබුණි. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සේව සේවිකාවන්ට බැටන් පොලු, යකඩ පොලු, දම්වැල්, ලී පොලු ආදියෙන් දරුණු ලෙස පහර දුන් බව ජනාධිපති පරීක්ෂණ කමිටු වාර්තාව දක්වයි. කාන්තා පොලිස් කොස්තාපල්වරියන් අසභ්‍ය ලෙස සේවකයන්ට බැණ වැදුනු බවත් මෙම කාන්තා පොලිස් කොස්තාපල්වරියන්ගේ හැසිරීම නින්දිත බවත් කමිටු වාර්තාවේ සදහන් කරයි. ගර්භනී හා අසනීප වූ කාන්තාවන්ටද පොලීසිය අවි ඔසවනු ලැබූ බවද ජනාධිපති පරීක්ෂණ කමිටු වාර්තාව සදහන් කරයි. (ජනාධිපති පරීක්ෂණ කමිටු වාර්තාව 17 හා 19 පිටු)
විශේෂයෙන් මහානාම තිලකරත්න ජනාධිපති පරීක්ෂණ කමිටු වාර්තාව පෙන්වා දෙන්නේ පොලීසිිය මෙම සිදු වීමේදී දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය, පොලිස් ආඥා පනත මෙන්ම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝනය කරමින් හැසිරී ඇති බවයි.
මෙම සිදුවීමේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරවා ගැනීම සදහා විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සිදු වූ අතර අඛණ්ඩ උද්ඝෝෂණයක්ද 18 කණුව අසළ සෑම වසරකම සංවිධානය කිරීමට සිවිල් සංවිධාන කටයුතු කරනු ලැබීය. මෙම සිදු වීමට යුක්තිය ඉටු කරවා ගැනීමේ එක් පියවරක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මගින් 1994 අංක 22 දරණ වදහිංසාවට එරෙහි ජාත්‍යන්තර සම්මුති පනත යටතේ මීගමුව මහාධිකරණයේ නඩු පැවරීම හැඳින්විය හැක. සිදු වීමේ දසවන වසර පසු කරද්දීත් අදටත් එකී නඩුව කෙළවර වී නොමැති වී‍ම ලංකාවේ යුක්තිය ඉටු වීමේ ඛේදාන්තය පෙන්වයි. සාධාරණ සැකයකින් තොරව අපරාධ නඩුවක් ඔප්පු කල යුතු පසුබිමක වසර 10කට පෙර සිදු වීමක් ගැන අදටත් සාක්ෂිකරුවන් සාක්ෂි දීම හා ඔවුන් හරස් ප්‍රශ්නවලට භාජනය වීම සිදුවෙයි.
මෙම සිදුවීමේ අටවන වසර ගතවෙද්දී මෙම සිදුවීම සම්බන්ධයෙන් පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 තීන්දුව හෝ ලැබීම මෙම සිදුවීමට යුක්තිය ඉටු වීමේ ක්‍රියාදාමයේ එක් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැක. මෙම සිදුවීම සිදුවුනු කාලයේ පැවති තත්වය තුළ මේ සදහා පෙත්සම්කරුවන් ලෙස සේවකයන් ඉදිරිපත් විමටද දැඩි බියක් දැක්වීය. එම නිසා සිදුවීමේ තුවාලකරුවන් පෙත්සම්කරුවන් ලෙස මෙම පෙත්සම්වලට සම්බන්ධ කර ගැනීමට දැඩි වෙහෙක් දැරීමට සිවිල් සංවිධානයන්ට සිදු විය. දැඩි උත්සහයකින් පසු සිදුවීමේ වින්දිතයන් කිහිප දෙනෙකුහට විශ්වාසයක් ඇති කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් සදහා සම්බන්ධ කරවීමට ඔවුන්ට හැකි විය. මෙම මැදිහත්වීම තීරණාත්මක වූ අතර, පෙත්සම්කරුවන් ධෛර්යවන්තව ඉදිරිපත් වීම හේතු කොට ගෙන මූලික අයිතිවාසිකම් ඉතිහාසයට වැදගත් නඩු තීන්දුවක් එකතු විය.
අංක 265/2011 පෙත්සමේ පෙත්සම්කරු වූයේ සම්පත් කුමාර නම් අවුරුදු 19ක තරුණයෙකි. මෙම පහරදීමෙන් ඔහුගේ ප්‍රජනන පද්ධතිය හා ආහාර ජීර්ණ පද්ධතිය ස්ථිර ආබාධිත තත්වයට පත් වී ඇත. 266/2011 පෙත්සමේ පෙත්සම්කරු වූ රෝහිත අමරසිංහ යන අයට යතඩ පොලු වලින්, පයින් හා රබර් හෝස් බටයකින් පහර දී ඇත. 267/2011 පෙත්මේ පෙත්සම්කරු වූ බුද්ධික අතපත්තු යන අයට යකඩ පොලු, යකඩ දම්වැල් හා ට්‍රාන්ස්ෆෝමර් කොටස් වලින් පහර දී ඇත. 269/2011 පෙත්සමේ පෙත්සම්කරු වූ ඉමල්ක ෆර්නෑන්ඩු යන අය පොලිස් පහරදීම හේතුවෙන් ක්ලාන්ත වී බිම ඇද වැටී ඇති අතර, පහර දීම් හේතුවෙන් නළල ප්‍රදේහයේ ඇති වී තිබෙන කැළල සුව වූ පසුවත් මුහුනේ විරූපි තත්වයක් ඇති වන බව ඔහුගේ එම්එල්ආර් වාර්තාව පෙන්වයි. 270/2011 පෙත්සමේ පෙත්සම්කාරිය වූ එල්.ටී. ඉරේෂා යන අයටද පොලිස් නිලධාරීන් අසභ්‍ය වචනයෙන් බැණ දණ ගස්සවා යකඩ පොලු වලින් පහර දී ඇත. 271/2011 පෙත්සමේ පෙත්සම්කරු වූ නිශ්ශංක වනිගසේකර යන අයටත් ඔහු ගමන් කල ත්‍රී රෝද රථයටත් දරුණු ලෙස පහර දී ඇති අතර මෙම පහර දීම් හේතුවෙන් පෙත්සම්කරු කිහිප අවස්ථාවකදී සිහිමුර්ජා තත්වයට පත් වී ඇත. 274/2011 පෙත්සම්කරු වූ ලලින්ද හේරත් යන අයගේ ඇස්වලට, හිසට හා උදරය ප්‍රදේශයට පොලීසිය විසින් දරුණු ලෙස පහර දී ඇත. මේ ආකාරයටම අනෙක් පෙත්සම්හි පෙත්සම්කරුවන්ටද දරුණු ලෙස පහර දීම් සිදු කර ඇත. පෙත්සම්කරුවන් කිහිප දෙනෙකුගේ තත්වය පිළීබඳ විස්තර කලේ සිදුවීමේ බරපතළ බව පෙන්වීමටය.
මෙම සිදුවීමේදී පොලිස් වෙඩි පහරින් ඝාතනය වූ රොෂේන් චානක වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු නොවූ අතර ඒ අවස්ථාවේදී ඔහුගේ මව ඇතුළු පවුලේ අය පත්ව සිටි තත්වය එයට හේතු වන්නට ඇත.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ලටම එක් තීන්දුවක් ලබා දෙමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන්නේ පොලීසියේ ක්‍රියාකාරීත්වය හේතු කොට ගෙන 14(1)(ආ) ව්‍යවස්ථාව මගින් සහතික වී ඇති සාමකාමීව රැස්වීමේ නිදහස, 11 වන ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති වදහිංසාවෙන් හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිලිවලින් හා දඩුවම් වලින් වැළකී සිටීමේ නිදහස, 13(1) ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් වැළකීමේ නිදහස, හා 12(1) ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම උල්ලංඝනය වී ඇති බවයි.
මෙම අයිතිවාසිකම් උල්ලංඝනයන් පිළිබඳව වෙන් වෙන්ව, පැරණි නඩු තීන්දුද වෙනත් රටවල නඩ් තීන්දුද උපයෝගී කර ගනිමින් විස්තර කරන ශ්‍රේෂ්ඨාධිකරනය මෙම පහර දීමේ අත්තනෝමතික ස්වභාවය හා දරුණු ස්වභාවය දිගින් දිගටම විස්තර කරයි. මෙම පෙත්සමේ පෙත්සම්කරුවකු නොවූවද ඝාතනය කෙරුණු රොෂේන් චානක සම්බන්ධයෙන් මෙම නඩු තීරණයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විස්තර කරයි. රොෂේන් චානක රෝහලට රැගෙන ආ වාහනයට පොලීසිය විසින් යකඩ පොලු වලින් පහර දීමෙන් එහි ඉදිරි පස හා පැති වීදුරු කැඩී ඇති බව පෙන්වා දෙන ශ්‍රේෂ්ඨාධිකරණය ඒ හේත්වෙන් රොෂේන් චානකව රෝහල් ගත කිරීම ප්‍රමාද වූ බවද පෙන්වා දෙයි. වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වැළැක්වීම කෲර සැලකිල්ක් බව මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙයි.
මේ ආකාරයේ මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ගණයේ මර්ධනකාරී පහරදීමක් හා දරුණු ගණයේ මූලික අයිිවාසිකම් උල්ලංඝනයක් වූ කටුනායක නිදහස් වෙළද කලාප පහර දීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් කඩ වීම සම්බන්ධයෙන් මෙම සේවකයන්ට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන උපරිම වන්දි මුදල රු. 250,000/=කි. එම වන්දි මුදල හිමි වන්නේ 265/2011 පෙත්සමේ පෙත්සම්කරු වූ සිය ප්‍රජනන පද්ධතිය හා ආහාර ජීර්ණ පද්ධතිය ස්ථිර ආබාධිත තත්වයට පත් වූ 19 හැවිරිදි සම්පත් කුමාර නම් තරුණයාටය. රු.250,000/= සිට රු.40,000/= දක්වා වන්දි මුදල් එක් එක් පෙත්සම්කරුවන්ට හිමි විය.
මෙම පෙත්සම්කරුවන්ට අමතරව තවත් බොහෝ පිරිසක් මෙම අරගලය හේතුවෙන් තුවාල ලැබීය. ස්ථිර ආබාධිත තත්වයකට පත් විය. මෙම පෙත්සම්කරුවන්ද ඇතුළු තුවාල වූවන්ට ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. මේ සම්බන්ධයෙන් වන වදහිංසා පනත යටතේ පවරා ඇති නඩුව තවමත් ඉදිරියට ඇදෙමින් ඇත.
සිය අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරීම නිසා මේ ආකාරයට දරුණු ලෙස වදබන්ධනයන්ට ලක්වෙමින් පීඩාවට පත් වූයේ රටේ ආර්ථිකයෙන් 50% කට අධික පංගුවකට හිමිකම් කියන ඇගළුම් ක්ෂේත්‍රයේ කම්කරුවන් හා අනෙකුත් කර්මාන්තශාලාවන්හි කම්කරුවන්ය. මේ රටේ ජනගහනයෙන් 1/9ක් වී ඇති රජයේ නිලධාරීන්ට වැටුප් ලබා දීමට මුදල් සපයන ප්‍රධාන ප්‍රභවයන්ගෙන් එකකි මේ නිදහස් වෙළඳ කලාප සේවකයන්. ඔබ විසින් ගමන් පහසුව සලසා ගන්නා යතුරු පැදියේ සිට සුඛෝපභෝගී වාහනය දක්වා මෙරටට ගෙන ඒමට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙන්නේ ඔවුන්ය. මෙම සිදුවීමට වසර 10ක් ගත වී තිබියදීත් මෙහි වින්දිතයන්ට නිසි පරිදි සම්පූර්ණ වශයෙන් යුක්තියක් ඉටු වීම තවමත් ප්‍රමාද වීම පිළිබඳ අප ජාතියක් ලෙස ලැජ්ජාවට පත් විය යුතුය.

Social Sharing

Related posts