ලෝකයේ දිගම වදහිංසා නඩුව

Facebooktwitterlinkedinrssyoutube

මේ දින වල ලොව පුරා ප්‍රචලිත පුවත වන්නේ ඇමරිකාවේ සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතික සාමන්‍ය පුරවැසියකුගේ බෙල්ල මත දණහිස තබා මරණයට පත් කිරීමේ සිදු වීමයි. එම මරණය සිදු කල ආකාරය ඡායාරූප ගත කර ඇති හෙයින් එය කාටත් දැක ගැනීමට අවස්ථාව උදාවී ඇත. මෙම සිද්ධියත් සමඟ ඇමරිකාව පුරා බලවත් විරෝධතා ඇති වීමත්, එම විරෝධතාවයන්ට අප්‍රිකානු ඇමරිකන් කළු ජාතිකයන් පමනක් නොව සුදු ජාතිකයන්ද එකතු වීම ඉතා ප්‍රබල ලෙස කැපි පෙනුනි. ඒමෙන්ම, මෙම සිද්ධියට විරෝධය පා ඒක්සත් රාජධානිය තුලත් යුරෝපියානු රාජ්‍ය තුලද විශාල පිබිදීමක් නිර්මාණය වී තිබේ.

මේ පිලිබඳව ලංකාවේද යම් මාධ්‍ය විසින්ද උනන්දුවක් දක්වා ඇත. එය ඉතාමත් සුදුසු ක්‍රියාවකි. නමුත් මෙහි කිසියම් දෙබිඩියාවක් ඇත. ශ්‍රී ලංකාව තුල පොලිස් ස්ථාන වලදි පහරදි මරණයට පත් කරන ලද ප්‍රමණය විශාලය. මෙයට අත්තඩංගුවට ගැනීම් වලින් පසු ඝාතනය කර අතුරුදන් කළ අයද එකතු කලහෝත් එම ප්‍රමාණය දහස් ගණන් වලින් වැඩි වේ. එහෙත් මෙම ක්‍රියාවලිය පිලිබඳව උනන්දුවක් මාධ්‍යයේවත්, සිවිල් සංවිධාන තුලවත් හා දේශපාලන ව්‍යාපාරවලවත් දක්නට නොමැත.

ලසන්ත ජගත් කුමාර සිද්ධිය

(ලසන්ත – පොලිස් අත්අඩංගුවටපත්වූ දිනය 2000 ජුනි 12, අධිකරණයට ඉදිරිපත්කළ දිනය 2000 ජුනි 17, බන්ධනාගාරය තුළ මිය ගිය දිනය 2000 ජුනි 20)

මෙම ඛේදනීය තත්ත්වය ඉතා පැහැදිලිව පෙන්නුම් කරන එක නඩුවක් නම් ලසන්ත ජගත් කුමාර, පයියාගල පොලිසියේදි බරපතල ලෙස පහරදීමෙන් පසු රිමාන්ඩ් බාරයේදී මිය ගිය සිද්ධිය පිලිබඳ කථාවය. එම මරණය සිදු වූයේ 2000 ජූනි 20වෙනිදාය. මේ මාසෙ ජූනි 20 වෙනිදා වන විට මෙම සිද්ධියට අවුරුදු 20ක් ගත වේ. එහෙත් එම සිද්ධියට අදාල පොලිස් නිලධාරියාට ආදාලව දමා ඇති නඩුව තවමත් දිග් ගැස්සී ඇදී යයි. ඒ පිලිබඳව පවරන ලද සිවිල් නඩුවද ඇදි ඇදි යයි. ඇත්තෙන්ම වධහිංසාව පිළිබදව ලෝකයේම  ඇති නඩු අතුරෙන් දිර්ඝ කාලයක් ගත වෙමින් පවතින නඩුව ලෙස මෙය සැලකිය හැකි.

මේ ආකාර විශාල නොතැකීමක් පොලිස් වධහිංසාවෙන් මියන පුද්ගලයන් මෙන්ම ලංකාවේ සැම අංශයකම මෙන්ම ලංකාවෙ යුක්තිය පසිඳලීමේ අංශ තුලද පවතින්නේ කෙසේද? මේ ප්‍රශ්නයට උත්තරය සේවීමෙදි අපට හෙලිදරව් වන තවත් අතියිශය වේදනාකාරි චින්තන රටාවන් අපට හමුවේ. එනම් මෙම නඩුව මෙපමන කාලයක් පවා ගෙනයාමටවත් හැකි වී තිබෙන්නේ ඉතා ධෛර්යව සම්පන්නව මිය ගිය ජගත් කුමාර යන අයගේ සහෝදරියක් විසින් ගෙනගොස් ඇති දීර්ඝ අරගලයක් නිසා පමණක් වන බවය. එම අරගලය නොතිබෙන්නට මෙම නඩුවත් අනෙක් නඩු මෙන් කිසිදු ප්‍රතිඵලයකින් තොරව අවසන් වන්නට ඉඩ තිබුණි. ඈ විසින් ගෙනයන ලද මෙම ව්‍යාපාරයට සහයෝගය දක්වන ලද්දේද ඉතා අල්ප මාත්‍ර මානව හිමිකම් ක්‍රියාධර කණ්ඩායම් කිහිපයකින් පමණි. මේ සඳහා විශාලම කාර්බාරයක් ඉටු කරන ලද්දේ ජනසංසදය නම් මානව හිමිකම් ක්‍රියාකාරි කණ්ඩායම යි. එම කටයුත්තට තවත් කණ්ඩායම් කිහිපයක් මගින්ද අනුබල ලැබිණි. එම කණ්ඩායම් අතරින් ජාත්‍යන්තර ලෙස සහයෝගය ලබාදුන්නේ අසීයානු මානව හිමිකම් කොමිසමයි.

වදහිංසාවට භාජනය බොහෝ දෙනා අඩු ආදායම් ලාභීන්,

ඇත්තෙන්ම සොයා බැලිය යුතු වන්නේ පොලිස් වධහිංසාව කොපමණ දුරකට ලංකාව තුල මුල් බැසගෙන තිබෙනවාද?, එය වෙනස් කල නොහැකි යතාර්ථයක් සේ පවතිනවාද යන්න පිලිබද මහජන මතය හාර අවුස්සා බැලීමෙනි. එවැනි මහජන මතයක් රට තුල කිදා බැස ඇත්තේ ඇයි?

මෙහිදි ඉතා පැහැදිලි වන එක් කරුණක්  වන්නේ වදහිංසාවට භාජනය වන සියල්ලක් පාහේම අඩු ආදායම් ලබන පවුල් පසුබිම් ඇති අය බවය. වැඩීම දෙනෙක් විරැකියා හා එවැනි ප්‍රශ්න වලට මුහුන දී සිටින තරුණ කණ්ඩායම් වලට අයත් වෙති.

පසුගිය අවුරුදු කිහිපය තුල ලංකාවේ ඉතා ප්‍රභල පුද්ගලයන්ට විරුද්ධව අපරාධ පරීක්ෂන ගනනාවක් පටන් ගන්නා ලදි. එසේ පටන් ගත් කිසියම් හෝ නඩුවක් අවසානය දක්වා නොයෑම වෙනත් ගැටලුවකි. අපට මෙහිදි වැදගත් වන්නේ එම එක් පුද්ගලයෙක්වත් තමන්ට පොලිසියෙන් වදහිංසාවක් සිදු වූ බවට පැමිණිලි කර නොතිබීමයි. මෙයින් පෙනෙන්නේ ඔවුන්ට එවැනි අවස්ථාවකට මුහුන දීමට සිදු නොවුනු බවය.

මෙම ප්‍රබලයන්ට විරුද්ධව ඇති අතිශය බරපතල චෝදනා සහිත නඩුව් වේ. මහා පරිමාන දූෂන, බරපතල  මිනිමැරුම් හා වෙනත් ඉතා දරුනු ක්‍රියා පිළිබද ව ඔවුහු පසුගිය කාලය පුරාම චෝදනා ලැබීය. එහෙත් එම කිසිම පරික්ෂනයක් සාර්ථක කර ගැනීම සඳහා වදහිංසාව අවශ්‍ය යැයි පොලිස් පරික්ෂකයන් පවසා නොමැති අතර ඔවුන්ට එවැනි ක්‍රියා වලට එලැබීමේ අවශ්‍යතාවක් නොතිබුනි.

එයින් ඉතාම පැහැදිලි වන්නේ පොලිස් වදහිංසාව අපරාධ පරික්ෂනයක් පවත්වාගෙන යාමට ඇති වන ක්‍රියාදාමයක් යන්න මුළුමනින්ම බොරුවක් බවය. ඉතා සුළු අපරාධයකට පොලිසියෙන් අල්ලා ගන්නා පිරිස් වෙත වධහිංසා දීමත් දරුණු අපරාධයකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට ගත් පසු අතවර නොකිරීමෙනුත් පෙනි යන්නේ අපරාධ පරීක්ෂණය දී වදහිංසාව නැතුව බැරිය කියන මතවාදය අතීශයින්ම ව්‍යාජ මතවාදයක් වන බවය.

මෙයින් පෙනි යන්නේ අඩු ආදයම් ලබන පුද්ගලයන්ට වදහිංසා පමුනුවන්නේ අපරාධ පරීක්ෂනය හේතුකොටගෙන නොව වෙනත් කරුණු හේතුකර ගෙන බවය. විශේෂයෙන්ම මෙම පහරදීම් වල අරමුනු නම් සාමණ්‍ය ජනතාව තුල සිතා ගත නොහැකි භීතියක් නොකඩවා පවත්වාගෙන යාමය. එය අවශ්‍යතාවක් ලෙස දැකීම තුලම ඇත්තේ නීතිය ඉදිරියේ සැවෝම සමානාත්මතාවයෙන් යුතුව සැලකීම අබමල් රේණූවක තරම්වත් තැකීමක් නොමැතිකමය.

අවුරැදු 20ක් තිස්සේ නිම නොවූ අපරාධ නඩුවක්, 

 

මෙම අවුරුදු 20ක් පුරා දිවෙන නඩුව මෙතරම් කාලයක් දි ගැස්සුනේ ඇයි? එයට හේතුවන් නම් එයට අදාලව සැක කල පොලිස් නිලධාරියාට අවශ්‍ය සෑම සැප පහසුකමක්ම රජය විසින් සලසා දී ඇති නිසාය.  අදාල පොලිස් නිලධාරියාට රටින් බැහැරව යාමටද ඉඩ සලසා මෙය තවත් දික් ගස්සන ලදි. ඉන් පසු ඔහු මෙම රටට පැමිණිනිමෙන් පසු පොලිස් නිලධාරින් විසින් ඔහුගේ පැමිණීම රහසක් සේ සගවාගෙන සිටින ලදි. ආගමන විගමන දේපාර්තමේන්තුවේ ලියකියවිලි පිරික්සීමේදි පෙනි ගියේ ඔහු ලංකාවට පැමින සිටින බවය. එහෙත්, අධිකරනය මගින් ඔහුට විරුද්ධව තිබුණු කිසිම වරෙන්තුවක් ක්‍රියාත්මක කිරවීමට කිසිම උනන්දුවක් පොලිස්පතිවරයාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුව ඇතුලුව කිසිදු අංශයකට තිබුණේ නැත.

ඇමරිකාවේ කළුජාතිකයන් හට සිදුවන ක්‍රියාදාමයට සමාන ක්‍රියාදාමයක් ලංකාව තුල ද ක්‍රියාත්මක වන බවද පෙනෙ. ඇමරිකාව තුළ කළු ජාතිකයන්ට සිදු කරන හිංසාවන්ට පොලිසිය ආරක්ෂා කිරීම ඉතා ප්‍රබල සම්ප්‍රදායක්ව පවති. එමෙන්ම ලංකාවේ පොලිසිය විසින් සිදු කරන අපරාධ හා මිනි මැරුම් ආරක්ෂා කිරීම ද එවැනිම ක්‍රියාදාමයක් සේ පවති.

මිනිමරුවන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට රැකවරනය ලබා දෙන නීතියක් හා රාජ්‍යක් විසින් මහජනතාවගේ ආරක්ෂාව සලසන්නේ කෙසේද? මෙවැනි ප්‍රශ්න පැන නැගුනත් ලංකාවේ සිවිල් සංවිධාන පවා එම ප්‍රශ්නය අසන්නේ නැත. විටින් විට ඇති වන දේශපාලන අරගල වලදි එක් පැත්තක් ගෙන දේශපාලන නඩු කරගෙනයාම සිවිල් සමාජය පුරුද්දක් සේ කරගෙන යන නමුත් මිනිස්සුන්ට පහර දි මරා දමා ඒවා යටපත් කිරිම පිලිබඳව ප්‍රභල හඩක් නැගීමට තරම් මෙම සිවිල් සංවිධානවත්, ප්‍රභලයැයි කියාගන්නා දේශපාලන සංවිධානවත්, එමෙන්ම වෘත්තිය සංවිධාන පවා ඉදිරිපත් වන්නේ නැත. මෙවැනි සංස්කෘතියක් තුළ රටේ ආරක්ෂාව ප්‍රධාන ප්‍රශ්නය සේ පවතින්නේය යන අදහස කාටවත් එත්තු ගැන්විය හැකිද? මිනිමැරුම් වලින් මිනිසුන් ආරක්ෂාකර ගැනීම වනාහි මානව ආරක්ෂා වේ ප්‍රධාන අංශය වේ. පොලිස් ස්ථාන තුලදීම පහරදි මිනිමැරුම් කරන අවස්ථාවේදීම පවා ඒවා යටපත්කොට දික් ගස්සවා මිනිසුන්ට නඩු එපා කර ඒ මාර්ගයෙන් මිනිමරුවන් සඟවා අපරාධකරුවන් ආරක්ෂා කරන සමාජයක රටේ ආරක්ෂා ප්‍රධානම අරමුණ යැයි කීමට සාධාරන හා සදාචාරාත්මක අයිතියක් කාටවත් පවතීද?

පොලීසියේ සේවකයෙකු බවට පත් වූ අධිකරණ වෛද්‍යවරයා 

 

මෙම නඩුවේදී මෙම සැකකරුට පහරදීමෙන් පසු ඔහු වෛද්‍යවරයකු වෙත යොමු කරන ලද අතර වෛද්‍යවරයාද ඔහු ගැන කිසිම පරිකෂණයක් නොපවත්වා ඔහුට කිසිම තුවාලයක් නැති බවට වාර්ථාවක් නිකුත් කරන ලදි. එහෙත් එසේ වාර්ථාවක් නිකුත් කර රිමාන්ඩ් බාරයට යවන පුද්ගලයා රිමාන්ඩ් බාරයේදී මිය ගියේය. මෙම වෛද්‍යවරයා අන්ධයෙක්ද? නැත. ඔහු අන්ධයකු නොවේ. ඔහු පවතින ක්‍රමයට හිස නමා පොලිසියේ සේවකයකු බවට පත් වුන නිලධාරියෙකි. වහල්භාවයේ මානසික තත්වයක් නියෝජනය කරන වෛද්‍යවරයෙකි. මොහුට වෛද්‍ය සභාව  මගින්ම දඩුවම් පමුණවා කාලයකට වෘත්තිය කරගෙන යාම අත් හිටවන ලදි. එය ඉතා සුදුසු ක්‍රියාවකි. එය එසේ වූවත් වහල් බාවය මානසිකත්වයක්  වී ඇති රටක එම වහල්බාවය ප්‍රබල ආයුධයක් සේ පවතින්නේ පොලිස් වධහිංසාවය. මේ නිසා ලංකාවෙ අධිකරණ ක්‍රියාවලිය තුල යම් සාධාරන තීන්දු නිකුත් වූවත් වධහිංසාව සම්බන්ධව තීන්දු නිකුත් වන්නේ ඉතාමත් අල්ප මාත්‍රයෙන් වන අතර. එයද සිදුවන්නේ දීර්ඝ කාලයකින් පසුවය. එවැනි දිර්ඝ කාලයක් දර ගත හැකි වන්නේ ඉතාමත් සුලු පිරිසකටයි.

ලංකාව අතිශයින් ගැඹුරු නෛතික ව්‍යසනයකට මුහුණ දී ඇති රටකි. එම ව්‍යසනය ප්‍රභලව ප්‍රකාශයට පත් කරන්නේ මිනිසුන් මැරීමට හෝ ඔවුන් වධහිංසාවට පත් කිරීමට පොලිසියට හා වෙනත් ආයතන වෙත ලබාදී ඇති  සහනදායී ප්‍රතිපත්තිය නිසාය.

මේ නිසා හුදෙක් නීතිමය අංශයෙන් පමණක් තේරුම් ගැනීමටවත් එයට පිලියම් යෙදීමටවත් බැරිය. මෙම ගැටලුව පිලිබඳව බැරැරුම් අධ්‍යයනයක් කිරීමට දැන් කාලය එලඹ ඇත. සැම විශ්ව විද්‍යාලයක් පසාම මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව හා දේශපාලන විද්‍යාව හා ඊට අනුබද්ධ සමාජ විශයන් සම්බන්ධව හැදැරීම් හා ගවේශන සිදු කරයි. එහෙත් වධහිංසාව පිලිබඳව සමාජ මූලයන් තුල ගැඹුරු අධ්‍යනයන් මේ වනවිටවත් පවතින්නේ නැත.

අවුරුදු 20ක් පුරා මෙලෙස නඩුවක් ඇදගෙන යාම පිළිබද අධිකරන ක්‍රමය මෙන්ම රජයත් අන් සියල්ලන්  ලැජ්ඡා විය යුතුය.  මෙවැනි ලැජ්ජාකාරි තත්වයක් පවත්වාගෙන යන අතර, රටේ අභිමානය ගැන කතා කිරීම වංචනිකය. ඒමෙන්ම, නඩු විසදීම පමා කිරීම පිළිබද සාකච්ඡාව ලංකාවේ ස්ථාවරත්වය සදහා අත්‍යවශ්‍ය කාරනයකි.

Asian Human Rights Commitions

Link Here>>

Social Sharing

Related posts