අපරාධ යටපත් කරන, පුරවැසි ජීවිත අනතුරේ හෙළන නීති විරෝධී පොලිස් ඝාතන

අපරාධ යටපත් කරන, පුරවැසි ජීවිත අනතුරේ හෙළන නීති විරෝධී පොලිස් ඝාතන

නීති විරෝධි අධිකරණමය නොවන ඝාතන (Extra Judicial Killings) අද ලංකාවේ ක්‍රමයෙන් වර්ධය වන අයුරු දැකිය හැක. නීති විරෝධී ඝාතන යනු නීතියට පිටින් කරන ඝාතනයි. නීති විරෝධී ඝාතනයන් පිළිබඳව නැවතත් අවධානය යොමු වන්නේ දින දෙකක් තුළදී මෙලන් මබුලා හෙවත් ඌරු ජුවා සහ තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක යන සැකකරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරින් ඝාතනය වීම හේතු කොට ගෙනය. ආයුධ පෙන්වන්න යද්දී එහි තිබූ ආයුධයකින් පොලීසියට පහර දීමට උත්සහ කිරීමේදී පොලීසිය විසින් වෙඩි තැබීමෙන් ඝාතනය සිදු වූවාය යන සුප්‍රසිද්ධ, කිසිදු අයෙක් පිළි නොගන්නා කතන්දරයක් මහජනයා වෙත ඉදිරිපත් කරමින් පොලීසිය මොවුන් දෙදෙනාගේ ඝාතනය සිදු කර ඇත. පොලීසිය විසින් සිදු කරන මෙවන් ආකාරයේ ඝාතනයන් මීට පෙරද ඕනෑ තරම් සිදු වී තිබේ. මෑතකදී මේ ආකාරයේ ඝාතනයන් වර්ධනය වීමක් ඇති බව පැහැදිලිය.

පතිරණගේ රාජා විමලධර්ම හෙවත් ගොනාකෝවිලේ රාජා පසුගිය වසරේ ජූනි මස 07 වනදා කැලණිය කොට්ඨාශ අපරාධ අංශය විසින් සිදු කල පොලිස් වෙඩි පහරින් ඝාතනය විය. කැටවලපිටියේ සම්පත් නොහොත් සංජීව සම්පත් පසුගිය වසරේ ජූනි 26 වනදා මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානය විසින් සිදු කරන ලද පොලිස් වෙඩි පහරින් ඝාතනය විය. පසුගිය වසරේ අගෝස්තු මස 11 වනදා අංගොඩ ලොක්කා හෙවත් අසිත ප්‍රේමතිලකද, අගෝස්තු 22 වන දින පාතාලෙ චමියා නොහොත් චමින්ද එදිරිසූරියද ඝාතනය වන්නේ පෑලියගොඩ කොට්ඨාශ අපරාධ අංශයේ පොලිස් වෙඩි පහරිනි. ඉන්ද්‍රා නොහොත් ඉදුනිල් වජිර කුමාර පසුගිය වසරේ අගෝස්තු මස 27 වන දින නවගමුව පොලීසියේ පොලිස් වෙඩි පහරින් ඝාතනය විය. පසුගිය වසරේ ඔක්තෝබර් මස 20 වන දින මාකඳුරේ මදූෂ්ගේ සුප්‍රසිද්ධ ඝාතනය සිදු වූයේ කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ ඔහු සිටියදීය. පසුගිය ජූනි මාසයේ සිට සිදු වූ අධිකරණමය නොවන ඝාතන රැල්ල දිග් ගැස්සී ඇත්තේ මේ අකාරයටය. මේ අතර ඉතාමත් සුවිශේෂී ඝාතනයක් සිදු වන්නේ ලුනාවේදීය. එහිදී අගුලාන පොලීසියේ නිලධාරියෙක් සමග ඇති වූ බහින් බස් වීමකදී ධීවර රැකියාව සිදු කරන අවුරුදු 39ක පුද්ගලයකු ඝාතනයට ලක්විය. මෙම පුද්ගලයාට කිසිදු චෝදනාවක් මේ දක්වා නොමැති වුවත් පොලීසිය ආයුධය ලබා ගැනීමට තැත්කලා වැනි පැරණි තැටි වාදනය කිරීම අසාර්ථක වූයේ ඇස දුටු සාක්ෂි නිසාය. නීතිවිරෝධී ඝාතන අනුමත කිරීමෙන් පොලීසියට එකී මර්ධනයම සාමාන්‍ය පුරවැසියන් වෙතද එල්ල කිරීමට හැකි බවට හොඳම උදාහරණයකි එකී ලුනාවේ ඝාතනය.

මෙකී ඝාතනයන් මගින් පුරවැසි ජීවිත දෙආකාරයකින් අනතුරකට ලක් කරයි. මෙම ඝාතනයන් අනුමත කරන ඇතැම් පොදු සමාජයේ ජනතාව වටහා ගත යුත්තේ එයයි. එකක් ඉහත ලුනාවේ සිදුවීමේ ආකාරයටය. මීට පෙරද අගුලාන පොලීසිය විසින් අගුලාන පොලිස් ස්ථානාධීපතිගේ පුද්ගලික කෝන්තරයකට ඝාතනය කරනු ලැබුවේ හෙරොයින් ජාවාරම්කරුවන් බව කියමිනි. අවසානයේ ඔවුන් කිසිදු චෝදනාවක් නොමැති තරුණයන් බවට තහවුරු වියත මේ ආකාරයට පොලිස් නිලධාරීන් සමග පෞද්ගලික ප්‍රශ්න ඇති කරගන්නා එමෙන්ම පොලිසියේ ක්‍රියාකාරීත්වයන් ප්‍රශ්න කරන මහජනයා දෙසට සිය අවි එසවීමේ බලය ලැබෙන්නේ පොලීසියට අත්අඩංගුවට ගත් සැකකරුවන් පාතාලය මර්ධනයට හෝ හෙරොයින් මර්ධනයට යැයි කියමින් අනීතිකව බලය ලැබීම හේතුවෙනි. පාතාල මර්ධනයට හෝ වෙනයම් නීතිවිරෝධී ක්‍රියාවක් මර්ධනය කිරීමට යැයි කියමින් පොලීසියට දඩුවම් කිරීමේ හා ඝාතනය කිරීමේ බලය ලබා දීමෙන් පුරවැසියා අනතුරට පත් කර ගන්නේ තමන්ගේ ජීවිතයයි. පොලීසියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මේ වන විට පුරවැසියාට ඇති අදහස අනුව පොලීසියට දඩුවම් කිරීමේ බලය ලබා දීම යෝග්‍යදැයි පාතාල ඝාතනයන්ගෙන් අහ්ලාදයට පත් නොවී තමන්ම ප්‍රශ්න කර ගත යුතුය. විශේෂයෙන් හෙරොයින් ජාවාරමේ නිරත වූ බවට චෝදනා එල්ල වී ඇති මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයක් පැවතුණු වටපිටාවකයි පුරවැසියන් නැවත නැවතත් මේ ප්‍රශ්නය තමන්ගෙන්ම ඇසිය යුත්තේ.

ශිෂ්ට සම්පන්න රාජ්‍යයක අපරාධකරුවන්ට දඩුවම් දීමේ බලය ඇත්තේ අධිකරණයටය. අධිකරණයට එම බලය ලැබෙන්නේ අහසින් පාත් වී නොව මහජන අරගලයක ප්‍රථිපල ලෙසයි. ස්වභාවික යුක්තියේ මූලධර්ම බිහි වන්නේ මහජන අරගලයකින්. රජු විසින් දඩුවම් තීරණය කල එනම් රටේ විධායකට විසින් පුරවැසියන්ට දඩුවම් කිරීමට එරෙහිව දෙපාර්ශවයට සවන්දී ස්වභාවික යුක්තියේ මූලධර්මයන්ට අනුගත වෙමින් සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමේ අයිතිය මිනිසුන් ලබා ගත්තේ මහජන අරගල තුළිනි. අධිකරණය බිහිවුනේ ඒ සඳහාය. විධායකයට අයත් පොලීසියට දඩුවම් කිරීමේ බලය ලබා දීමෙන් අප ගමන් කරන්නේ කුමන දිශාවකටද?

ලංකාවේ නීති පද්ධතිය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම යුක්තිය පසිඳලීමේ බලය අධිකරණය වෙත ලබා දී තිබේ. එය පොලීසියට ලබා නොදෙන්නේ මද්දුම බණ්ඩාර සිදුවීම් පන්නයේ සිදුවීම් වළක්වා ගැනීමටය. පොලීසියට නීතිය ක්‍රියාත්මක කල හැක. යුක්තිය පසිඳලීම සිදු කරන්නේ අධිකරණයයි. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 13(3) ව්‍යවස්ථාව අනුව සෑම චූදිතයකුටම සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමේ අයිතිය පෞද්ගලිකව හෝ නීතිඥයකු මගින් නිසි අධිකරණයකදී කරුණු දැක්වීමේ අයිිතිය මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කර ඇත. 13(4) ව්‍යවස්ථාව අනුව කිසිම තැනැත්තකු මරණීය දණ්ඩනයට යටත් කිරීම හෝ බන්ධනාගාරගත කිරීම නිසි අධීකරණයක ආඥාවකින් මිස සිදු කළ නොහැක. මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු වන්නේද මෙම ව්‍යවස්ථාව මගිනි.

මෙම නීති තත්වය අවස්ථා ගණනාවකදී මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගෙන තිබේ. ශ්‍රියාණි සිල්වා එ. ඉද්දමල්ගොඩ නඩුවෙන් පටන් ගෙන මේ දක්වා නඩු තීන්දු ගණනාවකදී ඉහත අයිතිවාසිකම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කොට ඇත. රත්නායක තරංගා ලක්මාලි එ. නිරෝෂන් අබේකෝන් ඇඹිලිපිටිය අපරාධ අංශ ස්ථානාධීපති හා තවත් අය යන SC FR 577/2010 දරණ වර්ෂ 2019 දී තීන්දුව ලබා දුන් නඩුවද ආයුධ පෙන්වීමට ගොස් පොලිස් වෙඩි පහරින් ඝාතනය වූ පුද්ගලයකු වෙනුවෙන් ඔහුගේ බිරිඳ විසින් පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමකි. එම නඩු තීන්දුවේදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව දක්වා ඇත්තේ පොලීසිය පවසන පරිදිම මියගිය සැකකරු බරපතළ අපරාධ ගණනාවකට සම්බන්ධ නම් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ඔහුව හැසිරවීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවත්, අවි ආයුධ හැසිරීම පිළිබඳ දැනීමක් ඇතැයි කියන අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ යැයි කියන මියගිය සැකකරු මාංචු නොදමා අගුලු නොදැමූ (unlocked) පතුරම් ඇතුල් කරන ලද (readily loaded) පිස්තෝලයක් සහිත පොලිස් නිලධාරියෙකු සමීපයෙන් රැගෙන යාම සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් සිදු කර නොමැති බවයි. එම නිසා වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ගේ ඉදිරිපත් කිරීම් පිළිගත නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඇත. ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මොන ආකාරයේ ප්‍රකාශ මධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කලද ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිගත නොහැකි ප්‍රතික්ෂේප කර ඇත.

එසේ නම් නීතිය පැහැදිලිය. සිදු වී ඇත්තේ අවනීතිය නීතිය බවට පත් වෙමින් යාමයි. මේ සියළු අයිතිවාසිකම් ප්‍රසිද්ධියේ ශ්‍රී ලංකා පොලීසිය උල්ලංඝනය කරමින් සිටියි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිවේදනයට අනුව කොස්ගොඩ තාරකගේ ඝාතනය සිදු වන්නේ ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස නීතිඥ සංගමය විසින් පොලිස්පතිට දන්වා තිබියදීය. එමෙන්ම ඔහුගේ නීතිඥයා විසින් මානව හිමිකම් කොමිසමට හා පොලීසියට මේ සම්බන්ධයෙන් දන්වා තිබියදීය. මෙය ඉතාම බරපතළ තත්වයක් වන අතර මෙම සිදුවීම් සම්බන්ධයෙන් පොලීසියට ඉහළ මට්ටමේ රැකවරණයක් ඇති බව පෙන්වයි.

මෙවන් පන්නයේ ඝාතනයන් පුරවැසි ජීවිත අනතුරේ හෙළන තවත් ආකාරයක් ඇත. ඒ අපරාධ මැඩලීම නිසි පරිදි ඉටු නොවීමයි. පාතාල සාමාජිකයන් එකින් එක ඉවත් කිරීම මගින් පාතාලය මර්ධනය නොවන බව පොලීසිය හොඳින්ම දනී. මෙම පාතාල සාමාජිකයන් නිර්මාණය වුනේ පෝෂණය වන්නේ කවර පුද්ගලයන් හරහාද යන්නද පොලීසිය නොදැන සිටිය නොහැක. එම නිසා පොලීසිය විසින් ඉවත් කරන්න කරන්න තවත් සාමාජිකයන් බිහි වන බවත් පොලීසිය දනී. මේ ආකාරයට නිසි විමර්ශනයකට ලක් නොකර පුද්ගලයන් ඝාතනය කිරීමෙන් බොහෝ සත්‍යයන් යටපත් වෙයි. නඩු විභාගයක් සඳහා පුළුල් විමර්ශනයක් පොලීසිය විසින් සිදු කරනු ලැබුවහොත් බොහෝ සත්‍යයන් එළිදරව් වනු ඇත. එකී සත්‍යය එළිදරව් වීම බොහෝ අයට කරදරයක් විය හැක. පුරවැසියන් පාතාල සාමාජිකයන් ඝාතනය කිරීමෙන් ඇතැම්විට සතුටු වුවද ඔවුන් නොදන්නා දේ නම් පාතාලය මර්ධනය කිරීමේ ප්‍රධානතම බාධාවක් වන්නේත් මේ අධීකරණමය නොවන ඝාතන බවයි. අපරාධකරුවන්ගේ මුල සෙවීම සම්පූර්ණයෙන් අමතක කර දැමීම මෙහිදී සිදු වෙයි. අපරාධකරුවන් මෙන්ම අපරාධකරුවන්ට සහය දුන් ජාලයන්ට එරෙහිව නිසි අධිකරණයන් ඉදිරියේ නඩු පවරා වරදකරුවන් කිරීම මගින් ඒවා මුලිනුපුටා දැමීම අපරාධ යුක්තියේ අත්‍යවශ්‍ය අංගයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනයෙන් අවධාරණය කරන්නේ මෙයයි.

සැකකරුවන් අධිකරණමය නොවන ක්‍රියාවලියක් මගින් සිදු කරන ඝාතනයන් මගින් අපරාධ මැඩලීමකට වඩා සිදු වන්නේ සත්‍යය යටපත් වීමක් පමණි. විශේෂයෙන් අවුරුදු 27ක් වැනි ඉතා කුඩා වයසකදී මෙලන් මබුලා ඌරු ජුවා බවට පත් වුනේත් අවුරුදු තිස් ගණනක් වයසැති තාරක, කොස්ගොඩ තාරක බවට පත් වී පොලීසිය කියන ආකාරයේ බරපතළ අපරාධකරුවකු බවට පත් වුනේ කෙසේදැයි සෙවීමට මේ සමාජයට අවශ්‍යතාවයක් නැද්ද? සමාජයට එවන් අවශ්‍යතාවයක් නැත්තේ සියළු ප්‍රශ්න වලට විසඳුම් සෙවිය හැක්කේ මර්ධනයේ අවි වලින් යැයි සමාජය සිතන්නට පුරුදු වී ඇති නිසාද? පුද්ගලයන් සංවිධානාත්මක අපරාධකරුවන් බවට පත් වන්නේ සමාජය විසින් ඔවුන්ව ඉල්ලා සිටින නිසාය. අපරාධකරුවන් නොඉල්ලන සමාජය ගොඩ නැගෙන්නේ නීතියේ ආධිපත්‍යය තහවුරු වී විටය. අපට අවශ්‍ය වන්නේ පුරවැසි අයිිවාසිකම් සවිබල ගැන්වෙන නීතියේ ආධිප්‍යය තහවුරු වූ සමාජයක්ය. ශිෂ්ට සම්පන්න සමාජයක් යනු එයයි. වෙඩි තබා ප්‍රශ්න විසඳිමට රජයක් අවශ්‍ය නැත. වෙඩි තැබීමෙන් ප්‍රශ්න යටපත් වනවා මිස විසඳෙන්නේද නැත. යුක්තිය පසිඳලීමේ ගැටළුකාරී තත්වයන්ට රජය වහා විසඳුම් සෙවිය යුතුය. යුක්තිය පසිඳලීම යනු නීතිඥයන්, අධිකරණය හා පොලීසිය පමණක් සම්බන්ධ වන්නක් නොවේ. අවශය පමණට සම්පත් යොදා ගෙන අවශ්‍ය තරම් අධිකරණ ප්‍රමාණයන් වැඩි කිරීම, අධිකරණයේ ලේඛන කටයුතු සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම, නීතිපති දෙපාර්තමේන්තුවේ මානව සම්පත වර්ධනය කිරීම, අපරාධ විමර්ශන ක්‍රියාවලිය නවීන තාක්ෂණයද උපයෝගී කර ගනීමින් කඩිනම් හා විධීමත් කිරීම, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මානව හා භෞතික සම්පත් වර්ධනය කිරීම, අධිකරණ වෛද්‍ය සේවය දියුණු කිරීම, අධීකරණ විනිශ්ච්‍යකාරවරුන්ට නිසි පුහුණු හා අවශ්‍ය සම්පත් ලබා දීම ආදී ලෙස යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ නොවිසඳුනු ගැටළු වලට රජය ඉක්මනින් මැදිහත් විය යුතුය. නඩු ප්‍රමාදය වැළැක්විය හැක්කේ එවිටය. යුක්තිය සාධාරණව මෙන්ම කඩිනම්ව ඉටුවීමද අතිශයින් වැදගත්ය. මෙම කටයුත්ත මහාමාර්ග ඉදි කිරීමටත් වඩා මහජනයාට වැදගත් බව රජය මෙන්ම මහජනතාවත් දැනගත යුතුය.

නීතිඥ දුලාන් දසනායක
උපුටා ගැනීම – www.aithiya.lk

Social Sharing

Related posts

Leave a Comment

CAPTCHA