අතුරුදහන්කරවීම් වාර්තා නොවු සිව් වසරක් – පිලිප් දිසානායක

අතුරුදහන්කරවීම් වාර්තා නොවු සිව් වසරක්...
Facebooktwitterlinkedinrssyoutube

සියළුම ආකාරයේ අතුරුදහන්කරවීම්වලට එරෙහි ජාත්යීන්තර දිනය අගෝස්තු 30ට යෙදී තිබුනි. මිනිසුන් අතුරුදහන්කරවීම් සම්බන්ධව වාර්තා පිට වාර්තා තැබූ රටක් ලෙස ඉතිහාසගත වී තිබූ ශ්‍රී ලංකාවේ පසුගිය සිව් වසර තුළ කිසිදු අතුරුදහන්කරවීමක් නිල වශයෙන් වාර්තා නොවීම ‌‌ෛඑතිහාසික වැදගත්කමකින් යුතු සිද්ධියක් ලෙස සැලකිය යුතුය. නමුත් මේ කාලය තුළ පැහැර ගැනීම් කිහිපයක් වාර්තා වූ නමුත්, පසුව ඔවුන් අත්අඩංගුවට ගත් බවට ප්‍රකාශ විය. ඒමෙන්ම, සමහර ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ කාලය තුළ යම් අතුරුදහන්කරවීම් සිද්ධි කිහිපයක් ශ්‍රී ලංකාව තුළින් වාර්තා වී ඇති බවට සදහන් කර තිබුනත්, එවා තහවුරු කර ගැනීමට මෙතෙක් නොහැකි වී තිබේ.

කෙසේ වුවත්, ශ්‍රී ලංකාව අතුරුදහන්කරවීම් හරනය කළ රාජ්‍යයක් ලෙස දැකීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සැමගේ ප්‍රධාන බලාපොරොත්තුවක් වන අතර, ඒය මානව අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නැගූ සියලුම දෙනාගේම ප්‍රධාන ජයග්‍රහණයක් ලෙස ද සැලකිය හැක.
මෙම තත්ත්වයට පසුගිය යහපාලන රජය සමයේ ඇති කළ දේශපාලන ප්‍රථිසංස්කරණයන් මූලික හේතුවක් වන්නට බොහෝ ඉඩ තිබේ. මෙය ජයග්‍රහණයක් නම්, ඒ පිටුපස ඇති සාධක පිළිබදව අප විශේෂ අවධානය යොමු කළ යුතුව තිබේ. ඒමෙන්ම, මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සදහාත් අප අපගේ උපරිම දායකත්වය ඉදිරියටත් ලබා දිය යුතුය.

ශ්‍රී ලංකාවේ අතුරුදහන්කරවීම් නතරවීමට ඒක් හේතුවක් ලෙස පසුගිය කාලයේ ඒ සම්බන්ධව විශාල කතාබහක් නිර්මාණය වීම ප්‍රධාන සාධකයක් ලෙස සැලකිය හැක. ඒමෙන්ම, ඒ හරහා ඇති වූ නීති ප්රිථිසංස්කරණයන් ද තවත් ඒක් හේතුවක් ලෙස පෙන්වා දිය හැක.
මෙම නීති ප්‍රථිසංස්කරණයන් අතරින්, අවුරුදු ගනනාවක සිට ශ්‍රී ලංකාව මග හරිමින් සිටි අතුරුදහන්කරවීම්වලට ඒරෙහි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ප්‍රඥ්ඥප්තිය ශ්‍රී ලංකාව 2015 වසරේ දෙසැම්බර් මාසයේ දී අත්සන් තැබීමත්, 2016 වසරේ දී එය අපරානුමතික කිරීමත්, 2018 වසරේ දී සියලුම අකාරයේ අතුරුදහන්කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර සම්මුති පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම තුළින් අතුරුදහන්කරවීම අපරාධ වරදක් බවට පත් කිරීමත්, මෙම තත්ත්වයට මග පෑදූ වැදගත් කාරණාවයි.

අතුරුදහන්කරවීම්වලට එරෙහි නීති සම්පාදනයට අමතරව, ඒය නැවත ඇති නොවීම සදහාත්, සිදු වූ සිද්ධීන් සම්බන්ධව නෛතික ක්‍රියා මාර්ග ගැනීම හා යුක්තිය ඉටු කිරීමත්, ශ්‍රී ලංකාවේ අතුරුදහන්කරවීම් සම්බන්ධව තොරතුරැ සොයා ගැනීම හා අදාල පවුල් වෙත හානි පුර්ණය වැනි කාරනා වෙනුවෙන් විද්‍යනුකූල යාන්ත්‍රනයක් හදුන්වා දීමත් පසුගිය රජය විසින් සිදු කරනු ලැබුවාය. ඉන් අතුරුදහන්වුවන් සොයා බැලීම සදහා වූ කාර්යාලය හා හානිපුර්ණය සදහා වූ කාර්යාලය පසුගිය රජ්‍ය සමය තුළ පිහිටවනු ලැබුවාය.

මෙම කාර්යාලයන් පිහිටුවීම සම්බන්ධව දකුණේ අතුරුදහන් වූ ඥාතීන්ගේ යම් සහායක් ලබා ගැනීමට හැකි වුවත් උතුරු හා නැගෙනහිර පළාත් තුළ අතුරුදහන් වූ ඥාතීන්ගේ සැලකිය යුතු සහායක් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි විය. මේ සම්බන්ධව දකුණේ දෙමාපියන්ගේ යම් හෝ සහායක් ලබා ගැනීමට හැකි වුයේ තම අතුරුදහන් වූ ඥාතීන් වෙනුවෙන් යම් වන්දි ප්‍රධානයක් හෝ මාසික දීමනාවක් ඒම පවුල් වෙත ලබා දෙන බවට ප්‍රකාශ වූ නිසාය. දශක ගණනාවක සිට තම අතුරුදහන් වූ ඥාතියා වෙනුවෙන් සාධාරණය ඉල්ලා විවිධ දේශපාලන පක්ෂ හා පුද්ගලයින් පසු පස ගොස් හෙම්බත්ව, අසරණව සිටින මෙම වියපත් ඥාතීන් මෙසේ ලබාදෙන වන්දිය පිළිබදව බලාපොරොත්තු තැබුවාය.

නමුත්, උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් බහුතරයක් ඒවැනි වන්දියකට කිසිසේත් කැමැත්තක් නොදැක්වීය. ඔවුන් තම ඥාතීන්ට සිදු වුයේ කුමක්දැයි දැන ගැනීමටත්, එම අතුරුදහන්කරවීම්වලට අදාල පුද්ගලයින්ට දඩුවම් ලබාදීම ඇතුලු යුක්තිය ඉටු කර ගැනීමට අදාල කාරණා සදහා මුල් තැන ලබා දුන්නාය.

ශ්‍රී ලංකාවේ ජීවත් වන ප්‍රධාන ජන වර්ග දෙකකට සම්බන්ධ තරුණ තරුණියන් එකිනෙකට වෙනස් දේශපාලණ අරමුණු දෙකක් වෙනුවෙන් රජයට ඒරෙහිව සටන් කිරීම හේතුවෙන් අතුරුදහන් වූ මෙම තැනැත්තන් සදහා සාධාරණය ඉටු කිරීමට සමත් සාර්ථක හා සම්පුර්ණ ක්‍රියාවලියක් ඇති කිරීමට අපොහොසත් වීම මෙම වැඩපිළිවෙල අසාර්ථ වීමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැක.

ඒමෙන්ම, මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීම ඉතා මන්දගාමීව සිදුවීමත්, මේ සම්බන්ධව ඇති කළ යුතු මහජන සාකච්ඡාව සුදු නෙළුම් ව්‍යාපාරය මෙන් රාජ්‍ය මට්ටමින් ආරම්භ නොකිරීමත් හේතුවෙන් මේ ක්‍රියාවලිය සමහර නිළධාරීන්ගේ අවශ්‍යතාවයන් මත ක්‍රියාත්මක වෙන ඉතා මන්දගාමී වැඩ පිළිවෙලක් ලෙස ක්‍රියාත්මක විය.

ඒ හේතුවෙන් මේ පිළිබදව විශ්වාසයක් අතුරුදහන්වුන්ගේ පවුල් වෙතින් ලබා ගැනීමට නොහැකි වූ අතර, විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාව මේ ක්‍රියාවලියෙන් වේගයෙන් ඉවත් වීම මෙහි අසාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දිය හැක. මෙම ක්‍රියාවලියට ඔවුන්ගේ සහාය නොලැබීමත් සමගම මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සදහා සහාය දැක්වූ ජාතන්තර ප්‍රජාව ඇතුලු අනෙකුත් පාර්ෂවයන් ද මින් ක්‍රමයෙන් ඉවත් වූවාය.

අවම වශයෙන් යෝජනා කර තිබූ පරිදි ඒම පවුල් වෙත වන්දියක් හෝ මාසික දීමනාවක් හෝ ලබාදීමට කටයුතු කළා නම්, නැවත මේ ක්‍රියාවලිය පන ගැන්වීම සදහා කටයුතු කළ හැකිව තිබුනි. නමුත්, අද මේ සම්බන්ධව පවතින දේශපාලණික තත්ත්වය සම්පුර්ණයෙන් වෙනස් මුහුණුවරක් ගන්නා බැවින්, නැවතත් ඔවුන් රැවටීමකට ලක්කලාද යන්න බොහෝ දෙමාපියන්ගේ සිත් තුළ හට ගැනීම එතරම් ඇරුමයක් ද නොවේ. යහපාලන රජය අවසන් වන තෙක් අවම වශයෙන් එවැනි පියවරකට හෝ පැමිණීමට නොහැකිවීම මේ ක්‍රියාවලිය සම්බන්ධව දකුණේ දෙමාපියන්ගේ හෝ විශ්වාසය තහවුරුකර ගැනීමට නොහැකි වීම මෙහි ඇති බරපතල අඩුපාඩුවක් ලෙස සැලකිය හැකිය.

මෙම වීඩියෝව අතුරුදහන්වුන් සිහිකිරීමේ ජාත්යවන්තර දිනය වෙනුවෙන් මහනුවර මානව හිමිකම් කාර්යාලය නිර්මාණය කර තිබූවකි.

Social Sharing

Related posts